ආසියානු විසි කිරිමේ තරගාවලියේදී ලංකාවට පදක්කම් තුනක්


03 වන ආසියානු විසි කිරීමේ ශූරතා තරගාවලියට ( 2024 Asian Throwing Championships ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06/17 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය දකුණු කොරියාවේ මොක්පෝ ( Mokpo ) නුවර ඉකුත් 06/14 දින සිට 06/15 දින දක්වා ආසියානු රටවල් 20 ක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

මෙම තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්ව සදහා සහභාගී වූ 21 හැවිරිදි , ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන   රැමේෂ් තරංග මීටර් 85.45 ක විසි කරමින් ශ්‍රී ලංකා වාර්තාවක් මෙන්ම මෙම තරගාවලියේ වාර්තාවක් තබන්නට ද සමත් වී තිබුණි .

මෙම විසි කිරීමේ දුර ඔලිම්පික් පරිසාදන මට්ටමට සෙන්ටි මීටර් 05 ක් අඩු වෙන් තිබූ අතර , මෙම විසි කිරීමත් සමග රුමේෂ් තරංග ලෝක ශ්‍රේණි ගත කිරීම් වල 09 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් වී තිබේ .

මීට අමතරව මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ දිල්හානි ලේකම්ගේ සහ සුමේධ රණසිංහ ද හෙල්ල විසි කිරීමේ ඉසව් සදහා ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි .

මොවුන් සියලු දෙනා 06/17 දින අලුයම 12.10 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා ආයතනයේ නිලධාරීන් මෙන්ම මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් නෑදෑ හිතවතුන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .



Recommended Articles